ජනාධිපති රාජපක්ෂට දෙමළ ජාතිකයෙකුගෙන්…
අතිගරු ජනාධිපතිතුමනි,
මා ඉපදුනේ ලංකාවේ ය. මගේ මුතුන් මිත්තෝ සියල්ළෝම නිදන්නේ අපේ දේශයේ ශුද්ධ වූ පොළවෙහි ය. වයස දහයක් වෙත්ම මම යාපනයේ සිට කොළඹට ආවෙමි. යාපනයේ අඹ පැනිරස මම උරා බී ඇත්තේමි. කොළඹ දී රසවත් රතු ජම්ඹු මගේ කමිසයෙහි රතු පැල්ලම් ඉතිරි කළේ ය. කපුටන් හාරා ගන්නට තැත් දරන ඉදීගෙන එන වරකා සුවඳ මට පුරුදු ය.
මා රට හැර ආවේ 1975 දී ය. එකල් සිට අපේ දේශය වෙලී ඇත්තේ ඒ සා මහත් වූ වේදනාවකින්, දුක්ගින්දරකින් සහ සන්තාපයකිනි. කුඹුරු යායයන් වෙත සිය ශුද්ධ වූ ජලය ගෙන එන්නා වූ බලවන්ත මහවැලි නදිය උතුරුවාලූයේ ලේ ය. දෙමලුන්ගෙත් සිහලුන්ගෙත් ලේ ය. අපේ දේශය පාරාදීසයක සිට නරකාදිය කරා පතුලට ම ගිලී යනු මම බලා සිටියෙමි. වරද කාගේ දැයි සහතික කර කීමට කිසිවකුට නොහැකි ය. මන්ද වරද සෙවිය යුතු කාලය බොහෝ ඉක්ම ගොස් ඇති බැවිනි.
අතිගරු ජනාධිපතිතුමනි,
ඔබ සමහර විට පැවැත එන්නේ දුටු ගැමුණුගෙන් විය හැකි ය. අපේ ජනයා පැවැත එන්නේ, එනයින් එළාරගෙනි. මතකයට ගන්න, කණ්ඩුල නම් සිය ඇතුපිට නැගී දුටු ගැමුණු එළාර සමඟ යුද වැදුණු සැටි. ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව එක් සේසත් කිරීම උදෙසා තවමත් දුටු ගැමුණු අනුස්මරණය කැරේ. එමෙන්ම ඔහු තවත් කරුණක් නිසා ද අනුස්මරණය කෙරෙයි. යුද වැදී එළාර මරා දැමීමෙන් පසු ඔහු එළාර වෙනුවෙන් ස්මාරකයක් තැනව්වේ ය. ඒ ගරුකල යුතු සිය සතුරා වෙනුවෙනි. එතැන නතර වී බැස අචාර කරන ලෙස ඔහු සියළු ශ්‍රී ලාංකිකයිනට නියෝග කළේ ය. එමගින් ඔහු පෙන්නුම් කලේ සිය උදාරත්වය පමණක් නොවේ. තමා දක්ෂ දේශපාලනඥයකු ද වන බව ය. එළාර පරාජය කිරීමෙන් පසු තමාට දෙමළ ජනයා පාලනය කිරීමට ඇති බව ඔහු දැන සිටියේ ය.
ජනාධිපතිතුමනි,
ඇදහීම සහ වාසනාව ද ඔබේ ඉහළ දේශපාලන නිපුනතා ද විසින් ඔබ ඉතිහාසයේ අද්විතීය තැනක තබනු ලැබ ඇත. තමාට පෙර අන් අය අසාර්ථක වූ නමුත් මහින්ද රාජපක්ෂ නම් ශ්‍රේෂ්ඨ නායකයා සහ දක්ෂ යුදකාමියා විසින් විසිපස් වසරක් පැවැති කැරලිකාරිත්වය අවසානයේ දී පරාජය කළ බව ඉදිරි දරු පරම්පරා ඉගෙන ගන්නවා ඇත. විටෙක ඔබ විසි එක්වන සියවසේ දුටු ගැමුණු යැයිද ඔව්න් විසින් නම් කරන්නට ඉඩ තිබේ
එසේ නමුත් ජනාධිපතිතුමනි ඔබට දුටු ගැමුනු චෛතසිකය පැළඳ ගැනීමට අවැසි නම් ඔබ ද තැනිය යුතු ය ස්මාරකයක්. එය නොවිය යුතු ය දාගැබක් හෝ ගොඩනැගිල්ලක්. එය විය යුතු ය නව පිළිවෙතක්. එය පිරිපුන් විය යුතු ය ක්‍රියාත්මක වීමට අවශ්‍ය බලයෙන්. 1958 වර්ගවාදී කැරලි කෝලාහලයන්ට මඟ පෑදූ වැරදි වලට යළි ඉඩ නොතියන්න. සරසවි වරම් ලැබීමට අපේෂාවෙන් සිටින දෙමළ තරුණතරුණියන් ඉන් වළක් නොවන්න. තමන් දෙවන පංතියේ පුරවැසියන් යැයි දෙමළ ජනයාට හැඟෙන්නට ඉඩ නොහරින්න. ඔවුන්ගේ ආගමට ඔව්න්ගේ භාෂාවට ගරු කරන්න.
ජනාධිපතිතුමනි, දෙමළ ජනයා ගැන ඔබ දැන ගත යුතු දෙයක් තිබේ. ඔවුනට සිය භාෂාව දෙවියන් වැන්න. සිය බසට ඒ සා කැපවීමක් ඇති සංස්කෘතීන් ලොව ඇත්තේ අතළොස්සකි.
ඔබ නීතිඥයකු ලෙස පුහුණුවක් ලැබූවෙකි. ඔබේ වෘත්තියේ මුල් කාලයේ දී ඔබ දෘඩතර මානව හිමිකම් ආරක්ෂකයකු විය. ජයග්‍රහණයන් ලබා රෝමයට ආ වීරයකු සේ ජුලියස් සීසර් මෙන් අද ඔබ ජනප්‍රිය ය. බලවත් ය. ඔබ ඉල්ලා සිටින කිසිවක් ප්‍රතික්ෂේප කිරීමට තරම් කිසිවකු බලවත් නැත.
අප නීති විද්‍යාලයේ දී සෝල්බරි ව්‍යාවස්ථාව ඉගෙන ගත් අවස්ථාවේ දී හැදෑරූ වෙනස් කළ නොහැකි විධිවිධාන සම්මත කරන්න. [entrenched provisions] යනුවෙන් හැදින්වෙන වෙනස් කළ නොහැකි විධිවිධාන යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යවස්ථාවෙහි තිබූ 29 වන වගන්තිය යි. ඉන් කියැවුනේ ශ්‍රී ලංකවේ පාර්ලිමේන්තුවට කිසිදු සුළුතර ජනප්‍රජාවට විශම සැළකීමක් කරන නීති සම්මත කළ නොහැකි බව යි. මෙම 29 වන වගන්තිය කිසිම ලෙසකින් වෙනස් කළ නොහැකි වගන්තියක් ලෙස ව්‍යවස්ථාවට එක් කර තිබුණි. 1972 ජනරජ ව්‍යවස්ථාව සකස් කිරීමේ දී එම වගන්තිය සහමුලින්ම නොසළකා හරින ලදී* අවශ්‍ය නම් මගේ සහාය ඔබට හිමි ය. සාගින්නෙන් ද නිරුවතින් ද සිටින දෙමළ ජනයා ඔව්නට කියා ස්ථානයක් ඇත්දැයි ඔබ දෙස බලා සිටී. සහතික කරන්න, ඔවුනට තැනක් ඇති බව. ඔබ එක් ප්‍රභාකරන් කෙනෙක් මරා දැමුවෙහි ය. එහෙත් තවත් ප්‍රභාකරන් කෙනෙක් ගොඩ නැගී ඒමට ඉඩ නොතබන්න. කඩු සහ තුවක්කු මගින් එවැන්නකු බිහි වීම වළක්වන්නට ඔබට බැරි ය. එය කළ හැක්කේ ඔබේ හදවතින් සහ ඥානයෙන් පමණි. කරුණාව, සත්‍යය සහ යුක්තිය. ඔබ ඒ බව බුදුන්ගෙන් ඉගෙන ගත්තෙහි ය. ඔබට අවශ්‍ය අවි ඒවා ම පමණි. අන් කිසිවක් නොවේ. ධම්මපදයට අනුව බුදුන් කීවේ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් එය ආදරයෙන් පමණක් සිදුවන බවත් ය.
ජනාධිපතිතුමනි,
ඔබ මේ ලස්සන නගරයෙන් ආපසු යන විට මට පොරොන්දු වෙන්න හෙට දවසේ පාසැලට යන දස හැවිරිදි දරුවාගේ සුදු කමීසයෙහි ජම්බු රතු මිස අන් රතු පැල්ලමක් නොතිබෙන බවට. උදෑසන කපුටා වරකා ගෙඩිය මිස වෙනත් දෙයක් නොහාරනු ඇති බවට. මා සුවද උරා බිව් අඹ ගසෙන් පළතුරු මිස අන් කිසිවක් නොඑල්ලෙනු ඇති බවට.
ගරු ජනාධිපතිතුමනි,
අප යළි පාරාදීසයට කැඳවා යන්න. ඔව්, යළි පරාදීසයට කැඳවා යන්න.
-( ජනාධිපති රාජපක්ෂ මහතා පිළිගැනීම පිණිස පසුගිය දා ඇමෙරිකාවේ හූස්ටන් නගරයේ පැවැති හමුවක දී ශ්‍රී ලාංකික දෙමළ නීතිවේදියකු වන ජොර්ජ් ආර්. විලි විසින් පවත්වන ලද කතාවේ අනුවාදයකි.)
No comments:
Post a Comment